ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියේ පවතින අනාරක්ෂිත සහ අවදානම් සහිත ස්ථාන සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් 2026 වර්ෂයේ ජාතික අයවැය ප්‍රතිපාදන යටතේ විශේෂ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව මගින් ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන ග්‍රාමීය හා ප්‍රාදේශීය මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමට බලාපොරොත්තු වේ. මෙරට වාර්තා වන රිය අනතුරු සංඛ්‍යාව සහ ඉන් සිදුවන ජීවිත හා දේපල හානිවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙවැනි ප්‍රාදේශීය මාර්ගවල සිදුවන බව නිරීක්ෂණය වී තිබුණද, එම ආයතන සතු ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් ආරක්ෂක කටයුතු අඩපණ වී පැවතුණි.
මෙම නව වැඩසටහන යටතේ මාර්ග සංඥා පද්ධති ස්ථාපිත කිරීම, ආරක්ෂක වැටවල් ඉදිකිරීම, මාර්ග සලකුණු යෙදීම සහ ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම වේගය සීමා කරන බාධක ස්ථාපිත කිරීම වැනි පියවර ගැනීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් සභා හරහා අදහස් සහ යෝජනා ලබාගෙන ඇති අතර, හඳුනාගත් අවදානම් සහිත ස්ථාන කඩිනමින් සුරක්ෂිත කිරීමට පියවර ගැනේ. මෙමගින් ග්‍රාමීය මාර්ගවල ගමනාගමන ආරක්ෂාව ඉහළ නංවා මහජනතාවගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ අපේක්ෂාවයි.
















