පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ පුණානි ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී කාලයේ සිදුවූ දරුණු රිය අනතුරකින් 20 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි. මඩකලපුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියැදුරු, එහි ගමන්ගත් කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු වැලිකන්ද සහ වාලච්චේන රෝහල් වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන ඇත. වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයා මියගොස් ඇත. මෙම ගැටීමෙන් ටිපර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර, ඉන් තුවාල ලැබූ ටිපර් රථයේ රියැදුරු ද වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. අනතුර සම්බන්ධයෙන් වාලච්චේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
















