ගතවූ මැයි මාසය තුළ පමණක් සංචාරකයින් 145,745 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙය 2025 වසරේ මැයි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම් (132,919) සමඟ සැසඳීමේදී සියයට 9.65ක කැපී පෙනෙන වර්ධනයක් වන අතර, මෙරට සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකෙන 2018 වසරේ මැයි මාසයට (129,466) සාපේක්ෂව සියයට 12.6ක වර්ධනයකි.
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මැයි මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 60,342ක් ලෙස සටහන් වේ. එය සමස්ත පැමිණීම්වලින් සියයට 41ක් තරම් ඉහළ අගයකි. මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 9,248ක්, චීනයෙන් 9,156ක්, ජර්මනියෙන් 6,734ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 6,414ක් වශයෙන් මැයි මාසය තුළ මෙරටට පැමිණ ඇත.
මේ අතර, 2026 ජනවාරි 01 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා වූ වසරේ මුල් මාස 5ක කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,022,022 (මිලියන 1.02) ක් දක්වා ඉහළ ගොස් ඇත. එම සමස්ත කාල සීමාව තුළ ද ප්‍රමුඛතාව ගනිමින් ඉන්දියාවෙන් සංචාරකයින් 250,260ක්, එක්සත් රාජධානියෙන් 98,093ක් සහ රුසියාවෙන් 76,073ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
















