කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන්, එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සහ කොටා පාර දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ලබන ජුනි මස 06 වැනිදා උදෑසන 09.30 සිට ජුනි 07 වැනිදා උදෑසන 07.30 දක්වා මෙම වසා දැමීම ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම කාලසීමාව තුළ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර, කොළඹ කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ද සම්පූර්ණයෙන් අත්හිටුවනු ඇත.
කෙසේ වුවද, මගී අපහසුතා මඟහරවා ගැනීම සඳහා ජුනි 06 වැනිදා සන්ද්‍යාවේදී මන්දගාමී දුම්රිය තුනක් නාරාහේන්පිට දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කර අවිස්සාවේල්ල දක්වා ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ කටයුතු යොදා ඇත. එබැවින් අදාළ දිනවල එම මාර්ග භාවිතා කරන රියදුරන්ට සහ දුම්රිය මගීන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය සහ දුම්රිය බලධාරීන් ඉල්ලා සිටියි.
















