ඉන්දියාවේ අහමදාබාද් නුවර පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) විධායක මණ්ඩල රැස්වීමේදී ක්‍රීඩා නීති රීති සංශෝධන, නව කාන්තා ක්‍රිකට් තරගාවලි හඳුන්වාදීම, පාලන ක්‍රියාවලීන් සහ ලොව පුරා ප්‍රාදේශීය විස්සයි20 (Franchise) ලීග් තරගාවලිවල වර්ධනය පිළිබඳව වැදගත් තීරණ රැසක් ගෙන තිබේ.
එහිදී අනුමත වූ ප්‍රධානතම සංශෝධනයක් වන්නේ, අඳුරු ආලෝකය (Bad light) හේතුවෙන් ටෙස්ට් තරගවලට සිදුවන බාධා අවම කරගැනීම සඳහා දෙපාර්ශවයේම එකඟතාවය මත සාමාන්‍ය ටෙස්ට් තරග සඳහා ද රෝස පැහැති පන්දු (Pink ball) භාවිත කිරීමට අත්හදා බැලීමේ පදනමක් මත අවසර දීමයි. මීට අමතරව ක්‍රීඩාංගණ සඳහා නව ආලෝකකරණ තාක්ෂණයන් හඳුන්වාදීමට පර්යේෂණ පැවැත්වීමටත්, සැකකටයුතු පන්දු යැවීමේ ඉරියව් (Chucking) පරීක්ෂා කිරීමේදී විනිසුරුවන්ට ‘හෝක්-අයි’ (Hawk-Eye) දත්ත භාවිත කිරීමටත් මෙහිදී අවසර හිමිව ඇත.
එමෙන්ම තරග පාලනය සම්බන්ධයෙන් ද නව නීති කිහිපයක් අනුමත කර ඇති අතර, තරග අතරතුර ලබාදෙන පානීය විවේකයන්හිදී (Drinks breaks) ප්‍රධාන පුහුණුකරුවන්ට හෝ කණ්ඩායමේ නම් කළ නියෝජිතයකුට ක්‍රීඩකයන් සමඟ උපදෙස් හුවමාරු කර ගැනීමට අවසර දීම, විස්සයි20 අන්තර්ජාතික තරගවලදී මිනිත්තු 15ක විවේක කාලයක් (Intervals) අනිවාර්ය කිරීම සහ තරගය නැවත ආරම්භ කරන විට පිතිකරුවන් ප්‍රමාදයකින් තොරව සූදානමින් සිටිය යුතු වීම ඊට ඇතුළත්ය.
මීට අමතරව, දැනට ක්‍රියාත්මක ලෙග් සයිඩ් වයිඩ් (Leg-side wides) නීතිය ස්ථිර කිරීමටත්, 2026 ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි MCC ක්‍රිකට් නීති පද්ධතියේ සෙසු සංශෝධන පිළිගැනීමටත් ICCය පියවර ගෙන ඇත. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්කල, 2027 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා චැම්පියන්ස් ට්‍රොෆි තරගාවලිය ජූනි-ජූලි මාසවල සිට 2027 පෙබරවාරි 14 සිට 28 දක්වා කාලය වෙත කල්දමා තිබේ.
















