ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවසේ සිටම කළ හැකි රැකියා (Work from Home) ලබා දෙන බවට ව්‍යාජ දැන්වීම් පළ කර කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 09කට ආසන්න මුදලක් වංචා කළ ගුවන් හමුදා නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලීසිය පියවර ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත සහ බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචි, වයස අවුරුදු 35ත් 40ත් අතර පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි. එහිදී හෙළි වී ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු ෆේස්බුක් හරහා මෙම කාන්තාව සම්බන්ධ කරගෙන, නිවසේ සිට රැකියාව කිරීමට නම් පූර්ව ගෙවීම් කළ යුතු බව පවසමින් ලබාදුන් බැංකු ගිණුම් අංකයකට මෙම මුදල් බැර කරවාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මාස ගණනාවක් ගත වුවද පොරොන්දු වූ රැකියාව හෝ මුදල් නොලැබීම නිසා ඇය පොලීසියට පැමිණිලි කර ඇති අතර, එහිදී සිදුකළ බැංකු ගිණුම් පරීක්ෂාවකදී වංචාවේ සුලමුල හෙළි වී තිබේ. ප්‍රධාන සැකකරු විසින් වංචා කළ මුදලින් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කරන නිලධාරියෙකුගේ ගිණුමකට බැර කර තිබූ අතර, ඒ අනුව එම ගුවන් හමුදා නිලධාරියා ද පොලිස් අත්අඩංගුවට පත්විය.
මොවුන් දෙදෙනා එකතු වී දිගු කාලයක සිට විවිධ ප්‍රදේශවල කාන්තාවන් ඉලක්ක කර ගනිමින් මෙලෙස අන්තර්ජාලය හරහා මහා පරිමාණයෙන් මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් දෙදෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන ජූනි මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ඉංගිරිය පොලීසිය මේ පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන පවත්වයි.
















