රටේ පවතින විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පවතින ගනුදෙනු පිළිබඳව නැවත සලකා බැලීමේ අවශ්‍යතාවක් පවතින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැති දන්සලකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.
1978 වසරේ හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමවේදය හේතුවෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකින් ස්වයංපෝෂිත වීමට තිබූ හැකියාව අහිමි වී ඇති බව කාදිනල් හිමිපාණෝ පෙන්වා දුන්හ. අතීතයේ දේශීයව නිෂ්පාදනය කළ හැකිව තිබූ බොහෝ භාණ්ඩ වර්තමානයේ විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුවීම නිසා රට ආනයන මත යැපෙන ආර්ථිකයකට පත්ව ඇති බව උන්වහන්සේ සඳහන් කළහ. මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව පමණක් අවධානය යොමු කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව තවදුරටත් ඉදිරියට යා යුතුද යන්න පිළිබඳ පුළුල් ඇගයීමක් සිදු කළ යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
එමෙන්ම, රජය දූෂණය මර්දනය කිරීම සඳහා ඵලදායී හා විනිවිද පෙනෙන යන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට තවමත් අපොහොසත් වී ඇති බව පෙනී යන බව කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කළහ. ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සහ ආර්ථික දුෂ්කරතා අවම කිරීම සඳහා රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගොස් එය රටේ ජීවන වියදම තවදුරටත් ඉහළ නංවා ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
















