වී වේලීම සහ ගබඩා කිරීම ඇතුළු පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සමුපකාර ව්‍යාපාරය හරහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන් සමරසිංහ මහතා පවසයි. අදාළ නවීන යන්ත්‍රෝපකරණ උතුරු සහ දකුණු පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. එම වැඩසටහන යටතේ සමූපකාර සමිතිවලට වී වේලන යන්ත්‍ර ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක ව්‍යාපෘතියක් සහ නිෂ්පාදන සමූපකාර සඳහා ඇසුරුම් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියන 100ක ව්‍යාපෘතියක් මෙම වසරේ ක්‍රියාත්මක කෙරේ.
මීට අමතරව, සහල් ආනයනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය මාසය තුළ සහල් මෙට්‍රික් ටොන් 120,000ක් ආනයනය කර ඇති බවත්, නැවත සහල් ආනයනය කිරීම සලකා බලන්නේ අවශ්‍ය වුවහොත් පමණක් බවත්ය. සහල් මාෆියාව මැඩලීම සඳහා සමූපකාර ව්‍යාපාරය මැදිහත් වී ඇති අතර, අල කිලෝවක් රුපියල් 220ක මිලකට මිලදී ගෙන සීමාසහිත ලංකා සතොස ආයතනය හරහා පාරිභෝගිකයින්ට ලබා දීමට පියවර ගෙන ඇත.
සමුපකාර සමිතිවල සිදුවන දූෂණ සහ වංචා පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. අදාළ වංචනික ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ එවැනි පුද්ගලයින් නැවත සමිතිවල තනතුරුවලට පත්වීම වැළැක්වීම සඳහා පවතින නීතිමය දුර්වලතා කඩිනමින් විසඳීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.
තවද, මහපොළ ශිෂ්‍යාධාර ලබාගත් ආදි සිසුන්ගෙන් සැදුම්ලත් නව සංගමයක් පිහිටුවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. එසේම, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය නවීකරණය කිරීම සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ ගැටලු පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.














