හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ සුළං බලශක්ති අංශය වන ‘හේවින්ඩ් වන් ලිමිටඩ්’ (HayWind One Limited) මඟින් මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන මෙගාවොට් 50ක සුළං බලශක්ති ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එහි සමස්ත ධාරිතාවයෙන් පළමු මෙගාවොට් 25 සඳහා වන සුළං ටර්‌බයින (Wind Turbines) තොගය පසුගිය දා ත්‍රිකුණාමලය වරාය වෙත සාර්ථකව ළඟා වී තිබේ. මෙම ව්‍යාපෘතිය ජාතික බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට මෙන්ම පරිසර හිතකාමී සහ අඩු වියදම් විදුලි උත්පාදනයක් කරා ශ්‍රී ලංකාව ගමන් කරන ගමනේ තීරණාත්මක පියවරක් වනු ඇත. දත්ත වාර්‌තා පෙන්වා දෙන පරිදි, ඉදිරි වසර 20ක මෙහෙයුම් කාලය තුළ ඉන්ධන ආනයන වියදම් වලින් රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් රටට ඉතිරි කර දීමට මෙම ව්‍යාපෘතිය සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
‘එන්විෂන් එනර්‌ජි ටෙක්නොලොජි’ (Envision Energy Technology) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද, මෙම ව්‍යාපෘතියට අයත් සමස්ත ටර්‌බයින 10න් 5ක්, මෙලෙස මන්නාරම ව්‍යාපෘති භූමිය වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව ඇති අතර, ත්‍රිකුණාමලයේ සිට ආරම්භ වන මෙම දැවැන්ත ප්‍රවාහන මෙහෙයුම ඉදිරි මාස තුන පුරාම අඛණ්ඩව සිදුවනු ඇත. මෙරට පුනර්‌ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ මෙතෙක් ක්‍රියාත්මක වන විශාලතම සහ තාක්ෂණික වශයෙන් වඩාත්ම අභියෝගාත්මක ප්‍රවාහන මෙහෙයුම ලෙස සැළකෙන මෙය, ප්‍රමාණයෙන් ඉතා විශාල සුළං පෙති (Blades), කුළුණු කොටස් (Towers) සහ එන්ජින් පද්ධති (Nacelles) දිස්ත්‍රික්ක කිහිපයක් හරහා ප්‍රවාහනය කිරීමට නියමිතය.
මෙම අභියෝගාත්මක ප්‍රවාහන කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකිරීම සඳහා විධිමත් ඉංජිනේරු ඇගයීම් සහ පූර්ව මාර්‌ග සැලසුම්කරණයන්ට අනුව, විශේෂ බර වාහන ප්‍රවාහන සේවාවක් (Heavy-haul logistics) යොදාගනිමින් මෙම සියලු උපාංග ඉතා ආරක්ෂිතව මන්නාරම පරිශ්‍රය වෙත රැගෙන යාමට සියලු කටයුතු මේ වන විට සංවිධානය කර ඇත. මෙම ව්‍යාපෘතියේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව ආරම්භ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ පුනර්‌ජනනීය බලශක්ති ධාරිතාව අතිශය විශාල ලෙස ඉහළ නැංවීමට මෙන්ම ජාතික විදුලි බල පද්ධතිය තවදුරටත් ස්ථාවර කිරීමට ද මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















