Speed Draft ක්‍රමය යටතේ වාහන ලබාගත් පුද්ගලයන් හට වත්මන් රජයේ තීරණ හේතුවෙන් රුපියල් ලක්ෂ ගණනක මූල්‍ය පාඩුවකට මුහුණ දීමට සිදුව ඇති බව සර්වජන බලය වෙන්නප්පුව ආසන සංවිධායක අචිනි සුරියඅරච්චි මහත්මිය පවසයි. වාහනයක් මිලදී ගැනීමේදී පැවති ණය පහසුකම් සීමාවන් රජය විසින් දැඩි ලෙස සංශෝධනය කිරීම මෙම අර්බුදයට මූලික හේතුව වී ඇති බව ඇය පෙන්වා දෙයි.රුපියල් ලක්ෂ 85ක් පමණ වටිනා වාහනයක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් ක්‍රමයට ලබාගත් අයෙකු, එම ණය පහසුකම ප්‍රතිව්‍යුහගත කිරීමට යාමේදී වාහනයේ වටිනාකම තීරණය කිරීමේ නව සීමාවන් නිසා රුපියල් ලක්ෂ 22කට ආසන්න මුදලක් අතින් ගෙවීමට සිදුව ඇති බව අචිනි සුරියඅරච්චි මහත්මිය අනාවරණය කරයි. මෙම මුදල ගෙවීමට නොහැකි වුවහොත් වාහන හිමියන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛනයට (Blacklist) ඇතුළත් වීමේ අවදානමක් පවතී. රුපියල් ලක්ෂ 85ක වාහනයක් සඳහා මසකට රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න පොලියක් ගෙවීමට සිදුවීම සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි බරක් බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
















