ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුල් මාස 18ක පාලන කාලයන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදන ක්‍රියාවලිය අනුව සැසඳීමේදී වත්මන් රජය සුවිශේෂී කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන බව වේරිටේ රිසර්ච් (Verite Research) ආයතනයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි. විශේෂයෙන්ම පාලන සමයේ මුල් මාස 6න් පසුව, එනම් 9 වන මාසයේ සිට වත්මන් රජය සිය නීති සම්පාදන වේගය කැපී පෙනෙන ලෙස ඉහළ නංවා ඇත.
වත්මන් රජය සිය මුල් මාස 18 තුළ පනත් 50ක් ගැසට් කර, ඉන් පනත් 32ක් සාර්ථකව නීති බවට සම්මත කර ගැනීමට සමත්ව ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය එම කාලසීමාව තුළ පනත් 54ක් ගැසට් කළද, නීති බවට සම්මත කර ගැනීමට හැකිව ඇත්තේ පනත් 20ක් පමණි. ඒ අනුව, 2015 රජයට සාපේක්ෂව වත්මන් රජය පනත් 12ක් වැඩිපුර සම්මත කර ගැනීමට සමත්වී තිබේ. ගැසට් කරන ලද පනත් කෙටුම්පත්වලින් වැඩිම ප්‍රතිශතයක් නීති බවට පරිවර්තනය කරමින් වත්මන් රජය ඉහළ පාර්ලිමේන්තු කාර්යක්ෂමතාවක් ප්‍රදර්ශනය කරයි. මෙම කාලසීමාවන් තුළ පාර්ලිමේන්තුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමයේ දින 126ක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමයේ දින 136ක් ලෙස රැස්වී ඇත. මීට අමතරව, අතුරු අයවැයක් සහ සම්පූර්ණ වසරක අයවැයක් බැගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද මෙම කාලසීමාවේ විශේෂත්වයක් වේ.
















