බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ හෙට (4) සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිකයන්ගේ සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා අද (3) ප්‍රකාශ කළේය. පෞද්ගලික බස්හිමියන්ගේ සංගම් සහ පළාත් බස් සංගම් නියෝජිතයන් හෙට පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යාමට නියමිත බව හෙතෙම සඳහන් කළේය.
මෙම මාසය සඳහා සියයට 3කට වඩා වැඩි බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් යෝජනා කිරීමට අපේක්ෂා කරන අතර, සියලු දෙනාගේ එකඟත්වය ලැබෙන වඩාත් පිළිගත හැකි විසඳුම තෝරාගනු ඇත. ඉන්ධන මිල ඉහළ යෑමෙන් බස් රථ හිමියන්ගේ පිරිවැය ඉහළ යන හෙයින් එම පාඩුව බස් මගියා හෝ රජය විසින් දැරිය යුතු බවත්, ව්‍යාපාරිකයන් වන බස් හිමියන්ට එම පාඩුව දරාගැනීමේ හැකියාවක් නොමැති බවත් රණසිංහ මහතා පැවසීය. බස් රථ සඳහා මේ වන විටත් කිව්ආර් (QR) කේත ක්‍රමය ක්‍රියාත්මක බැවින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට බාධාවක් නොමැති බවත්, රජය සහනාධාරයක් ලබා දුනහොත් මගී ජනතාවට සහනයක් ලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. පසුගිය මැයි මාසයේ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ද, මෙම මාසයේ රුපියල් 15කින් ද ඉහළ දැමීම හේතුවෙන් සමස්ත මිල රුපියල් 25කින් ඉහළ ගොස් ඇත.















