දෙමටගොඩ, පාලිත පෙදෙසේ නිවසක සඟවා තිබූ දේශීයව නිෂ්පාදිත ගිනිඅවි 19ක් සහ මත්පෙති ලක්ෂයකට අධික තොගයක් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (03) සොයාගෙන තිබේ. මෙම ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය ජාලය භාරත ලෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගේ පුතාට සම්බන්ධ බවට සැක කෙරේ. ඔහු මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බව පොලිසිය පවසයි.
වැටලීමේ තොරතුරු සහ විමර්ශන
කොළඹ නගරය තුළ මෙතරම් විශාල ගිනිඅවි තොගයක් සොයාගත් පළමු අවස්ථාව මෙය බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. මෙම ගිනිඅවි පිස්තෝලවලට සමාන ලෙස දේශීයව නිෂ්පාදනය කර ඇති අතර, ඒවා නිවසේ ඉහළ මහලේ තිබූ බෆල් දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබී ඇත. සැකකටයුතු නිවස රහස් ගබඩාවක් ලෙස භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මාස තුනකට පෙර කුලියට ගෙන ඇති මෙම නිවසට ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම
මීට පෙර මැයි මාසයේ සිට සිදුකළ දීර්ඝ විමර්ශන මාලාවක ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එම සැකකරුවන් ලබාදුන් තොරතුරු මත සිදුකළ මෙම වැටලීමේදී මුලින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට බලාපොරොත්තු වුවද, ගිනිඅවි තොගය අනපේක්ෂිත ලෙස හමුවීම විශේෂත්වයකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇඹිලිපිටිය, මාතර සහ මතුගම පදිංචිකරුවන් වේ.
බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් මත, අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ජයසේකර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකරන ලදී.
















