සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම සහ රුහුණු රිදියගම සෆාරි උද්‍යානයේ නව සමනල උයන විවෘත කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ අතුල වෙළදගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසුවේ, සංචාරක කර්මාන්තය දියුණු කිරීම තුළින් රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට හැකි බවයි. ලබන 5 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව රට පුරා ක්‍රියාත්මක කෙරෙන පරිසර වැඩසටහන්වල එක් පියවරක් ලෙස රිදියගම සෆාරි උද්‍යානයේ සංවර්ධන කටයුතු ප්‍රමුඛස්ථානයක් ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රිදියගම සෆාරි උද්‍යානයේ දැනට අඩක් ඉදිවී ඇති සියලුම ඉදිකිරීම් කඩිනමින් අවසන් කර, ඉදිරි වසර දෙක තුළ උද්‍යානය ජනතාවට අලුත් අත්දැකීමක් ලබාදෙන ස්ථානයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇත. එම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5000ක මුදලක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















