Speed Draft ක්‍රමය යටතේ වාහන මිලදී ගත් පුද්ගලයින් රජයේ නව ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව සර්වජන බලය වෙන්නප්පුව ආසන සංවිධායක අචිනි සූරියආරච්චි මහත්මිය පවසයි. වාහන ලීසින් සහ ණය පහසුකම් සම්බන්ධයෙන් රජය ගෙන ඇති අත්තනෝමතික තීරණ නිසා සාමාන්‍ය ජනතාවට තම වාහනවල හිමිකාරිත්වය අහිමි වීමේ අවදානමක් උද්ගත වී ඇති බව ඇය පෙන්වා දෙයි.
මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ රජය විසින් වාහන මිලදී ගැනීමේදී පැවති ණය පහසුකම් සීමාවන් දැඩි ලෙස සංශෝධනය කිරීමයි. උදාහරණයක් ලෙස රුපියල් ලක්ෂ 85ක් පමණ වටිනා වාහනයක් Speed Draft ක්‍රමයට ලබාගත් පාරිභෝගිකයෙකුට, එම ණය පහසුකම නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේදී වාහනයේ වටිනාකම තීරණය කිරීමේ නව සීමාවන් නිසා රුපියල් ලක්ෂ 22කට ආසන්න මුදලක් අතින් ගෙවීමට සිදුවී ඇති බව සූරියආරච්චි මහත්මිය අනාවරණය කළාය.
මෙම අමතර ලක්ෂ 22ක මුදල ගෙවීමට නොහැකි පාරිභෝගිකයින් සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) අසාදු ලේඛනයට (Blacklist) ඇතුළත් වීමේ අවදානමකට ලක්ව ඇත. තවද, රුපියල් ලක්ෂ 85ක වාහනයක් සඳහා මසකට රුපියල් ලක්ෂ 1.5ක පමණ අධික පොලියක් ගෙවීමට සිදුවීම සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි බරක් වී තිබේ.
ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් බලයට පැමිණි වත්මන් රජය, ජනතාවට කිසිදු සහනයක් ලබා නොදී වෙනත් බලවත් පාර්ශ්වයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන බවට ද ඇය චෝදනා කළාය.
















