ජාතික පරිසර සතියට සමගාමීව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන ඒකකය මගින් කුලියාපිටිය නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මාර්ගස්ථ දුම් පරීක්ෂාවක් සහ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එහි මූලික අරමුණ වන්නේ වාහනවලින් පරිසරයට මුදාහැරෙන අහිතකර වායු විමෝචනය අවම කිරීමයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන පරිදි වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා මිලියන 6ත් 7ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වන අතර, ශ්‍රී ලංකාවේ වායු දූෂණයට ප්‍රධානතම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ වාහන මගින් පිටවන දුමයි. වාහනයකින් අධික ලෙස දුම පිටවීම යනු ඉන්ධන නිසි ලෙස දහනය නොවී පරිසරයට මුදාහැරීමක් වන අතර, එමගින් වාහන හිමිකරුට ඉන්ධන සඳහා වන වියදම ඉහළ යාමේ ආර්ථික බලපෑමද ඇති වේ.
මෙම වැඩසටහනේදී වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදා දීම සිදු විය. මෝටර් රථ වාහන පරීක්ෂකවරුන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ සෘජු දායකත්වයෙන් මාර්ගයේදී සිදු කළ හදිසි පරීක්ෂාවලදී අධික ලෙස දුම පිටකරමින් ධාවනය වූ ලංගම බස් රථ ඇතුළු වාහන රැසක් හඳුනා ගැනීමට හැකි විය. එම වාහන සඳහා ‘නඩත්තු නියෝග’ (Maintenance Notices) නිකුත් කිරීමට බලධාරීන් පියවර ගත්තේය.
පරිසරය ආරක්ෂා කර ගැනීමට සහ වාහනවල ආයුකාලය මෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට සියලුම වාහන හිමියන් තම වාහන නිසි වේලාවට නඩත්තු කිරීමේ වගකීම භාර ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















