ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් සැලකිය යුතු කොටසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අනතුරු අඟවයි. ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, රටේ දරුවන්ගෙන් හයෙන් එකක් හෝ පහෙන් එකක් පමණ පෝෂණ ගැටලුවලට ගොදුරු වී සිටින බවයි.
නවතම සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා හෙළි කළ දත්තවලට අනුව, මෙරට දරුවන්ගේ මිටි බව 10.1%ක් ලෙසත්, ක්ෂය වීම (Wasting) 8.1%ක් ලෙසත්, බර අඩුකම 16.1%ක් ලෙසත්, ස්ථූලතාවය 0.5%ක් ලෙසත් වාර්තා වේ.
දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම ඔවුන්ගේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කරන අතර, දෙමාපියන් තම දරුවන්ගේ දෛනික ආහාර වේලෙහි පෝෂණ ගුණය පිළිබඳව වඩාත් අවධානයෙන් සිටිය යුතු බව මෙයින් තහවුරු වේ. මෙම සංඛ්‍යා දත්ත මගින් පෙන්නුම් කරන්නේ දරුවන්ගේ කායික වර්ධනය සහ සෞඛ්‍යය තත්ත්වය පවත්වා ගැනීම සඳහා පවුල් මට්ටමින් සහ සමාජ මට්ටමින් ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍ය බවයි.
















