බහලුම් ගාස්තු 5%කින් නැවත ඉහළ යාම, ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාම සහ රක්ෂණ ගාස්තු ඇතුළු සමස්ත වියදම් පිරිවැය සැලකිල්ලට ගැනීමේදී, පිටරටින් ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු සියලුම ද්‍රව්‍යවල මිල ගණන් 10%කින් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් පී. සුබ්‍රමනියම් මහතා පවසයි. පවතින ආර්ථික වාතාවරණය හමුවේ මෙම මිල ඉහළ යාම පාලනය කළ නොහැකි තත්ත්වයක් බවද ඔහු සඳහන් කරයි.
මෙම මිල ඉහළ යාමට අමතරව ඉදිරියේදී මතුවිය හැකි බරපතළ ආහාර අර්බුදයක් පිළිබඳව ද ආනයනකරුවන් අනතුරු අඟවයි. පැසිෆික් සාගර කලාපයේ වර්ධනය වන එල් නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අපනයනය කිරීම සඳහා සීමාවන් පැනවීමට පියවර ගෙන තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ විදේශ රටවලින් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
කාලගුණික සහ දේශගුණික විපර්යාස, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය, ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම සහ රුපියලේ අගය පිරිහීම වැනි සාධක රාශියක් මෙම අර්බුදයට බලපා ඇත. මෙම අභියෝගයන්ට මුහුණ දීම සඳහා දැන් සිටම සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත්, අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල අනාගතයේදී කොතැනකින් නතරවේද යන්න කිව නොහැකි බවට ආනයනකරුවෝ වැඩිදුරටත් අනතුරු අඟවති.
















