ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් ඖෂධ මිල ගණන් ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව ඇති බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආනයනික සහ දේශීයව නිෂ්පාදනය කෙරෙන ඖෂධවල මිල සංශෝධනය කිරීමට අවශ්‍ය මූලික කටයුතු සැලසුම් කරමින් පවතින බව එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.
මෙම මිල වැඩිවීම යටතේ දැනට ගැසට් පත්‍රයක් මඟින් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩ 60ක මිල ගණන් ද ඉහළ නැංවීමට නියමිතය. මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් ආනයනය කිරීම මත පදනම්ව මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන අධ්‍යයන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඖෂධ මිල පාලනය සහ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බව බලධාරීන් පෙන්වා දෙයි.
















