වර්තමාන කෘෂිකර්මාන්තයේ පවතින උග්‍ර ශ්‍රම හිඟයට කදිම විසඳුමක් ලෙස ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වා දෙමින්, තාක්ෂණය භාවිත කරන “ස්මාර්ට් තරුණ ගොවි පරපුරක්” බිහි කිරීමේ අරමුණින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් වත්තල – කුරුකුලාව වෙල්යාය ආශ්‍රිතව විශේෂ ඩ්‍රෝන තාක්ෂණික වැඩමුළුවක් පසුගියදා (02) පවත්වන ලදී. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදී දේශීය තාක්ෂණයෙන් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.
මෙහිදී CodeGen International (Pvt) Ltd ආයතනය විසින් ලංකාවේම සැලසුම් කර මෘදුකාංග සහ පාලන පද්ධති නිපදවන ලද, බීජ හා ඝන පොහොර ඉසීමේ නවීන ඩ්‍රෝන යානයක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. මෙම නව තාක්ෂණික ඩ්‍රෝන යානා ඉදිරි මහ කන්නයේදී වියළි කලාපයේ වී වගාවන් සඳහා බීජ තැන්පත් කිරීමටත්, යල කන්නයේදී පොහොර යෙදීමටත් ඉතා සාර්ථකව භාවිත කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම නිෂ්පාදනය තවදුරටත් පුළුල් කරමින්, වියළි කලාපයේ ගොවි ජනතාව වෙනුවෙන් කිලෝග්‍රෑම් 25 සහ 50 දක්වා වැඩි ධාරිතාවකින් යුත් ඩ්‍රෝන යානා ඉදිරියේදී නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා සාර්ථක වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා ආතර් සී. ක්ලාක් ආයතනයේ (ACCIMT) සභාපති මහාචාර්ය චන්දන ජයරත්න, අමාත්‍ය කෘෂිකාර්මික උපදේශක ආචාර්ය ෆ්‍රෑන්ක් නිරංජන් සහ වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රෝහිත සේරම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. දේශීය තාක්ෂණයෙන් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම වර්තමාන යුගයේ අත්‍යවශ්‍ය කරුණක් බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
















