ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. මීට පෙර ඔහු මෙම ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ රැඳී සිටියේය.
මොරොක්කෝවේ රබාත් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 85.97ක දක්ෂතාවක් දක්වමින් දෙවැනි ස්ථානය දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය. මෙය ජාත්‍යන්තර ඩයමන්ඩ් ලීග් තරගාවලියකදී ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම දක්ෂතාව ලෙස ඉතිහාසයට එක්වෙයි. මීට පෙර ඔහු නයිරෝබිහි පැවැති ‘කිප් කේනෝ ක්ලැසික්’ තරගාවලියේදී මීටර් 89.28ක නව තරග වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනාගැනීමට ද සමත් විය.
මෙම ජයග්‍රහණ මාලාවත් සමඟ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයකට පිවිසි ශ්‍රී ලංකාවේ ලාබාලතම මලල ක්‍රීඩකයා වීමේ ගෞරවය ද ඔහුට හිමි වේ.
















