‘දිට්වා’ දරුණු සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ මෙරට අසරණ ජනතාවට සහන සැලසීම උදෙසා පිහිටුවන ලද විශේෂ සහන අරමුදලට මෙරට ව්‍යාපාරික ප්‍රජාව සහ සාමාන්‍ය පුරවැසියන් අතිවිශාල මුදලක් පරිත්‍යාග කර තිබියදීත්, එම මුදල්වලින් මෙතෙක් කිසිදු සහනයක් හෝ ප්‍රතිලාභයක් වින්දිතයන් වෙත හිමිව නොමැති බවට සමගි ජන බලවේගය බරපතළ චෝදනාවක් එල්ල කරයි. පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) නිල වශයෙන් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, අසරණ පාසල් දරුවන් පවා තමන්ගේ කැට කඩා ලබාදුන් මෙම සුවිශේෂී සහනාධාර මුදල්, සිද්ධියෙන් මාස හතකට අධික කාලයක් ගතවී ඇතත් වින්දිතයන් වෙනුවෙන් පරිහරණය නොකර රජය විසින් දිගින් දිගටම රඳවාගෙන සිටීම රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි පවතින ජනතා විශ්වාසය දැඩි ලෙස පළුදු කරන්නකි. සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල පොදු යටිතල පහසුකම් මෙන්ම ජන ජීවිතය තවමත් යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වී ඇත්තේ වත්මන් රජයේ පවතින මෙම අදූරදර්ශී මන්දගාමී පිළිවෙත සහ පරිපාලන අකාර්යක්ෂමතාව හේතුවෙන් බව විපක්ෂය සෘජුවම පෙන්වා දෙයි.
මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් උපුටා දක්වමින් මෙහිදී වැඩිදුරටත් අනාවරණය වන්නේ, අදාළ ‘දිට්වා’ සහන අරමුදල මෙතෙක් මෙරට නීති පද්ධතියට අනුව නීත්‍යානුකූලව ස්ථාපනය කර නොමැති අතර, ඒ සඳහා අවශ්‍ය වන අත්‍යවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට පවා වගකිවයුතු බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවයි. කිසිදු නීත්‍යානුකූල භාවයකින් තොරව පවත්වාගෙන යනු ලබන මෙම අරමුදලෙන් විපතට පත් වූවන් වෙනුවෙන් මෙතෙක් එකදු සතයක හෝ මුදලක් වියදම් කර නොමැති වීම, වත්මන් පාලනය බලයට පත්වීමට පෙර මෙන්ම බලයට පත්වීමෙන් පසුවද ජනතාව දිගින් දිගටම රවටමින් සිටින බවට ප්‍රබල සාක්ෂියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා චෝදනා කරයි. ජනතාව ජාතික ව්‍යසනයකදී සිදුකළ උදාර මානුෂීය පරිත්‍යාගයන් මෙලෙස නිසි කළමනාකරණයකින් හෝ විනිවිදභාවයකින් තොරව රඳවා තබා ගැනීම හරහා රජය කෙරෙහි පවතින මහජන පිළිගැනීම සහ විශ්වාසනීයත්වය බරපතළ ලෙස අභියෝගයට ලක්ව තිබේ.















