වර්තමානයේ මෙරට සමස්ත ජනතාව මුහුණ දී සිටින දැඩි ආර්ථික සහ සමාජයීය පීඩාව, පාලකයන්ගේ අතීත ක්‍රියාකලාපයන් පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ගනු ලැබූ වැරදි දේශපාලන තීන්දු වල සෘජු ප්‍රතිඵලයක් බව සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ තනතුරු සහ වගකීම් පිරිනැමීමේදී ඕනෑම ආයතනයක හෝ පුද්ගලයෙකුගේ අතීත සැපයුම් වාර්තා සහ විශ්වාසවන්තභාවය පරීක්ෂා කරන පරිද්දෙන්, දේශපාලන නායකත්වයේ ‘පැටිකිරිය’ සොයා බැලීමට මෙරට බහුතරයක් ජනතාව අපොහොසත් වීම තුළින් අද වන විට සමස්ත දේශයටම දැඩි ලෙස විඳවීමට සිදුව ඇති බව ඔහු අවධාරණය කරයි. අතීතයේදී සිය ගොවි නායකයන් ඝාතනය කළ, වී ගබඩා සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන ගිනි තබමින් දේශීය කෘෂිකර්මාන්තය විනාශ කළ පිරිස් කෙරෙහිම වර්තමානයේදී විශ්වාසය තබා, ඔවුන්ගෙන් සහන අපේක්ෂාවෙන් ඡන්දය භාවිත කිරීමේ උත්ප්‍රාසාත්මක තත්ත්වය ඔහු මෙහිදී දැඩි ලෙස විවේචනයට ලක් කරයි.
රාජ්‍ය සම්පත් විනාශ කිරීමේ සහ රටේ බුද්ධිමතුන් දඩයම් කිරීමේ කළු ඉතිහාසයක් සහිත පාර්ශවයන් වෙත රටේ පාලන බලය පවරා දීම හරහා ගුරුවරුන්ගේ, විදුලිබල හා තෙල් සේවකයන්ගේ මෙන්ම සාමාන්‍ය පාරිභෝගික ජනතාවගේද අයිතිවාසිකම් අද වන විට බරපතළ ලෙස කොල්ලකෑමට ලක්ව ඇති බව ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් හෙළිදරව් කරයි. 88-89 භීෂණ සමයේදී ට්‍රාන්ස්ෆෝමර් සහ ඉන්ධන බවුසර් ගිනි තබමින් පොදු දේපළ විනාශ කළ, විදුහල්පතිවරුන් සහ මහා සංඝරත්නය ඝාතනය කරමින් රටේ පාසල් පද්ධතිය සහ සංස්කෘතිය අඩාල කළ පිරිස් වත්මන් පාලන තන්ත්‍රයේ ඉහළ පුටුවලට එක්වීම හරහා රටේ නව ආර්ථික මිනීමරුවන් බිහිවී ඇති බව ඔහුගේ ස්ථාවරයයි. මෙම පසුබිම තුළ සාමාන්‍ය ජනතාව සිය දෛනික මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා නොහැකිව අසරණ වී සිටීම, අතීතය අමතක කර හැඟීම්බරව ගනු ලැබූ දේශපාලන තීරණවල කටුක හා බිහිසුණු යථාර්ථය බව ඔහු මෙහිදී සිහිපත් කරයි.
අවසාන වශයෙන් ඔහු දැඩිව අවධාරණය කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව තෝරාගනු ලැබුවේ රට නිසි මඟකට මෙහෙයවිය හැකි සැබෑ ප්‍රායෝගික පාලකයෙකු නොව, වචන හරඹයෙන් සහ වේදිකා පම්පෝරිවලින් ජනතාව මුලා කළ හැකි ‘හොඳම කයිය නායකයා’ බවයි.















