කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ හෙට (05) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මෙම වැසි තත්ත්වය අපේක්ෂා කෙරේ. මෙහිදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකියි.
තවද, හෙට දිනයේදී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං හමා යාමේ හැකියාවක් පවතී. සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයෙන් තරමක තද සුළං ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















