යුරෝපා සංගමයට පූර්ණ සාමාජිකත්වය ලැබීමට පෙර, එම සංගමයට එක්වීමට අපේක්ෂා කරන රටවල් සඳහා සංගමයේ වැඩසටහන්වලට සහ පොදු වෙළඳපොළට ප්‍රවේශ වීමට වැඩි අවස්ථා ලබා දීමේ යෝජනාවක් ජර්මනිය සහ ප්‍රංශය විසින් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත්තේ යුරෝපා සංගමය පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡාවලට නව වේගයක් ලබා දීමේ අරමුණින්ය.යුරෝපා සංගමයට සාමාජිකත්වය ලබාගැනීමේ ක්‍රියාවලිය දීර්ඝ හා නිලධාරිවාදී එකක් වීම හේතුවෙන්, සාමාජිකත්වය ලැබීමට පෙර එම රටවලට වඩාත් ප්‍රායෝගික ප්රතිලාභ ලබා දීමට යුරෝපා සංගමයේ නිලධාරීන් කටයුතු කරමින් සිටී. ජර්මන් සහ ප්‍රංශ ඒකාබද්ධ වාර්තාවට අනුව, අපේක්ෂක රටවලට වැඩි දිරිගැන්වීම් ලබා දෙමින් සහ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරමින් වේගවත් ඒකාබද්ධතාවයකට ඉඩ සැලසීම මෙහි අරමුණයි. අපේක්ෂක රටවල් නිශ්චිත ප්රමිතීන් සපුරාලන්නේ නම්, යුරෝපා සංගමයේ ශිෂ්‍ය හුවමාරු සහ පර්යේෂණ වැඩසටහන්වලට සහභාගී වීමටත්, බලශක්ති, කර්මාන්ත සහ විමෝචන වෙළඳ පද්ධතිය වැනි අංශවලට සම්බන්ධ වීමටත් අවස්ථාව ලැබෙනු ඇත. බටහිර බෝල්කන් රටවල සහ මෝල්ඩෝවාහි නියෝජිතයින්ට ඡන්ද බලය නොමැතිව වුවද, යුරෝපා සංගමයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට සහ සමුළුවලට සහභාගී වීමට ඉඩ ලබා දීම පිළිබඳවද යෝජනාවේ සඳහන් වේ. මීට අමතරව මොන්ටිනිග්‍රෝව මේ වන විට වඩාත්ම ඉදිරියෙන් සිටින අපේක්ෂක රට වන අතර, ඇල්බේනියාවද සිය ඉල්ලුම්පත් සඳහා ප්‍රගතියක් ලබා ඇත. යුක්රේනය සහ මෝල්ඩෝවා නුදුරේදීම යුරෝපා සංගමයේ ප්රමිතීන් පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවත්, උතුරු මැසිඩෝනියාව, සර්බියාව සහ බොස්නියාව ද අනෙකුත් අපේක්ෂක රටවල් ලෙස පවතින බවත් වාර්තා වේ.
















