එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකාව ‘සමුද්‍රවිජය’ නමින් අධිකාරියට පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජූනි 04) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේදී සිදු කෙරිණි.
එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් 02 වන දින මෙම නෞකාව ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාර දෙන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතා අනුව නවීකරණය කිරීමෙන් අනතුරුව, 2026 පෙබරවාරි 20 වන දින ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් සිට නෞකාව කොළඹ බලා ගමන් ආරම්භ කළේය.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම නෞකාව සැලකේ. සමුද්‍රීය නිරීක්ෂණ, සෙවීමේ හා ගලවා ගැනීමේ මෙහෙයුම්, ධීවර සම්පත් ආරක්ෂාව, පාරිසරික නිරීක්ෂණ සහ ජාත්‍යන්තර සමුද්‍රීය නීති බලාත්මක කිරීම සඳහා මෙම නෞකාව මගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇත. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා මෙය අතිශයින් වැදගත් සම්පතක් වනු ඇත.
අභිනව නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ජනාධිපතිවරයා අතින් ප්‍රදානය කෙරිණි. අනතුරුව නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කළ ජනාධිපතිවරයා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර, නාවික හමුදාපතිවරයා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම පිළිබඳව පිරිස දැනුවත් කරන ලදී. එසේම, ජනාධිපතිවරයා නෞකාවේ විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක්ද තැබූ අතර, නෞකාවේ අනුරුව සහිත සමරු තිළිණයක්ද ඔහු වෙත පිළිගන්වන ලදී.
















