ආසියා-පැසිෆික් කලාපයේ පැරණිතම වෛද්‍ය පුස්තකාලය වන ශ්‍රී ලංකා වෛද්‍ය පුස්තකාලයේ 182 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ විද්වත් සමුළුවක් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් මූලස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා වෛද්‍ය පුස්තකාලය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ජාතික විද්‍යා පදනම එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, පර්යේෂකයන්, ඉතිහාසඥයන් සහ අධ්‍යාපනඥයන් ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටියහ.
මෙරට වෛද්‍ය උරුමය, නවතම සොයාගැනීම්, වෛද්‍ය තාක්‍ෂණයන්, වෛද්‍ය විද්‍යාවේ අතීතය හා අනාගතය මෙන්ම දැනුම අනාගත පරපුරට සංරක්ෂණය කිරීම වැනි කරුණු රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. සමුළුවේ සමාරම්භක දේශන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක, මහාචාර්ය නෙවිල් පෙරේරා සහ ජාතික විද්‍යා පදනමේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරුන් විසින් පවත්වනු ලැබීය. එසේම මහාචාර්ය සරෝජ් ජයසිංහ, ආචාර්ය ගාමිණී විජේසූරිය, මහාචාර්ය සේනක පිලපිටිය, විශේෂඥ වෛද්‍ය හෙන්රි රාජරත්නම්, මහාචාර්ය ඉනෝකා කොරියා සහ වෛද්‍ය දර්ශි තෝරදෙණිය ඇතුළු විද්වතුන් රැසක් වෛද්‍ය ඉතිහාසය හා ආශ්‍රිත විෂය කරුණු පිළිබඳව දේශන පැවැත්වූහ.
















