ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ආගමික සහජීවනය සහ ප්‍රජා සහයෝගීතාව මනාව පිළිබිඹු කරමින් වෙසක් උත්සවයක් සංවිධාන කර තිබේ. ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති අනුර විතානගේ මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන්, ප්‍රජා නායකයන් සහ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
දවස පුරා පැවැත්වුණු මෙම වැඩසටහන ආගමික වතාවත්, ධර්ම සාකච්ඡා සහ විවිධ බෞද්ධ වත්පිළිවෙත්වලින් සමන්විත විය. වෙසක් උත්සවයේ උතුම් ගුණාංගයක් වන පරිත්‍යාගශීලීත්වය විදහා දක්වමින් පැවැත්වුණු දන්සල මඟින් සියලු දෙනාට ආහාරපාන ලබාදීමට කටයුතු යොදා තිබිණි. මෙම උත්සවයේ කැපී පෙනෙන මානුෂීය අංගයක් ලෙස, උත්සවයට සහභාගිවූවන්ට අමතරව අවතැන් වූ පුද්ගලයන් 200කට අධික පිරිසක් සඳහා ද ආහාරපාන සැපයීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබේ.
මෙම බෞද්ධ ආගමික වැඩසටහන වසර දහයකට වැඩි කාලයක සිට ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව වෙත සිය පහසුකම් නොමිලේ සපයන ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයකදී පැවැත්වීම ඉතා සුවිශේෂී කරුණකි. මෙය ලෙබනනය වැනි රටක විවිධ ආගම් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය, මිත්‍රත්වය සහ සහජීවනය පිළිබඳ ප්‍රබල නිදසුනක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි. විදේශ රටක වුවද ශ්‍රී ලාංකික අනන්‍යතාව සහ ආගමික උරුමය රැකගැනීමටත්, ප්‍රජාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමටත් මෙම උත්සවය ඉවහල් වූ බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















