ඔස්ට්‍රේලියාවේ ගීලෝන් (Geelong) නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරන ලද දන්සලක් සහ බැති ගී ප්‍රසංගයක් පසුගියදා ඉතා සාර්ථක අයුරින් පවත්වා අවසන් කෙරිණි. Geelong Sri Lankan Community Facebook සමූහය විසින් ප්‍රථම වරට මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, එය ගීලෝන් බෙල්මොන්ට් (Geelong Belmont) ප්‍රදේශයේදී පැවැත්විණි.
රෝස්පාන්, පරිප්පු, සීනිසම්බල් සහ ඉඟුරු තේ සහිතව පැවැත්වූ මෙම දන්සල සඳහා 550කට අධික පිරිසක් සහභාගි වීම විශේෂත්වයකි. විදේශයක වෙසෙමින් මෙරට සංස්කෘතික අනන්‍යතාව සහ දන් දීමේ උතුම් ගුණය ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
මෙම වැඩසටහනට සමගාමීව විපස්සනා බෞද්ධ විහාරස්ථානයේ (Vipassana Buddhist Monastery) දහම් පාසල් දරුවන් සහ මවුපියන්ගේ සහභාගීත්වයෙන් බැති ගී ප්‍රසංගයක් ද පැවැත්විණි. ශ්‍රී ලාංකේය සංස්කෘතික හර පද්ධතීන් මැනවින් විදහා දක්වමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් මෙම වැඩසටහන නිමාවට පත් විය.
















