දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් 30ක පමණ පිරිසක් බඹරු දෂ්ට කිරීම හේතුවෙන් අරලගංවිල රෝහලට ඇතුළත් කර තිබේ. මෙම බඹර ප්‍රහාරයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිනිය සහ සිසුන් බේරාගැනීමට ගිය අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද රෝහල්ගත කිරීමට සිදුවූ බව අරලගංවිල පොලීසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේදී පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් සංවිධාන කර තිබූ අතර, බඹරුන් ඇවිස්සීමත් සමඟ එම උත්සවය තාවකාලිකව නතර කිරීමට පියවර ගැනිණි. විද්‍යාලයේ ගොඩනැඟිල්ලක පැවති බඹර කූඩු කිහිපයක් බඹරුන් ඇවිස්සීමට හේතු වී ඇති අතර, පසුව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්ව එම බඹර කූඩු ඉවත් කර බඹරුන් පලවා හැරීමට කටයුතු කර තිබේ. රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව අරලගංවිල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
















