කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ක්ෂේත්‍ර සහයක පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය පසුගිය 02 වැනිදා පැවැත්විණි. විභාග අපේක්ෂකයින් 570 දෙනෙකු අතුරින් තෝරාගත් සුදුස්සන් 71 දෙනෙකු සඳහා මෙහිදී පත්වීම් ලිපි පිරිනැමූ අතර, දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පවතින පුරප්පාඩු අනුව මෙම නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය.
උත්සවය අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ රාජ්‍ය සේවයේ ගෞරවය යළි ස්ථාපිත කරමින්, ජනතාවට කාර්යක්ෂම සහ ගෞරවනීය සේවාවක් ලබාදීමේ වගකීම අලුතින් පත්වූ නිලධාරීන් සතු බවයි. 1960 දශකයෙන් පසු රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය ආයතනවල පැවති පිරිහීම පෙන්වා දුන් අමාත්‍යවරයා, මහජනතාව කාර්යාලවලදී මුහුණ දෙන ප්‍රමාදයන් සහ ඇතැම් නිලධාරීන්ගේ ආකල්ප වෙනස් කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය. දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම රාජ්‍ය සේවය ද ජනතාවගේ ගෞරවය දිනාගන්නා මට්ටමකට ඔසවා තැබීමට රජය උත්සාහ දරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















