පාර්ලිමේන්තුවේ විපක්ෂය මේ වන විට පවතින තත්ත්වයට වඩා ශක්තිමත් විය යුතු බවත්, ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සතු මොළයට සජිත් ප්‍රේමදාස මහතා සතු සහජ හැකියාවන් හෙවත් ‘කඳ’ එකතු කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නවීන් දිසානායක මහතා පවසයි. මහනුවර පැවති පක්ෂ රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම හැකියාවන් දෙකම එකතු කර ගනිමින් ඉදිරි දේශපාලන ගමනක් යා යුතු බවයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දිනෙන් දින කබලෙන් ළිපට වැටෙමින් සිටින බවත්, රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා අවස්ථාවේ තිබූ ස්ථාවරභාවය මේ වන විට ගිලිහී ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. රජය විසින් ඉන්ධන මිලෙහි යම් සහනයක් ලබා දුන්නද, අත්‍යවශ්‍ය භාණ්ඩවල වැට් බද්ද ඉවත් කිරීම වැනි විධිමත් වැඩපිළිවෙළක් හරහා ජනතාවට සහන මල්ලක් ලබා දීම රජයේ වගකීමක් බව නවීන් දිසානායක මහතා අවධාරණය කළේය.
එමෙන්ම පළාත් සභා ඡන්දය නීත්‍යානුකූලව සහ නිසි කාලයට පැවැත්විය යුතු බවත්, ජනතාවගේ එම ප්රජාතන්ත්රවාදී අයිතිය තවදුරටත් කල් දැමීම ආණ්ඩුවේ වගකීම් විරහිතභාවයක් බවත් ඔහු ප්‍රකාශ කළේය. විපක්ෂයේ සිටියදී පළාත් සභා ඡන්ද නොපැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කළ ජනතා විමුක්ති පෙරමුණේ පොරොන්දු සිහිපත් කළ නවීන් දිසානායක මහතා, ආණ්ඩුව එම ප්රජාතන්ත්රවාදී පොරොන්දු ඉටු කරමින් හැකි ඉක්මනින් ඡන්දය පවත්වන ලෙස බල කර සිටියේය. සමගි ජන බලවේගය සමඟ එක්ව මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිරි මැතිවරණ කටයුතු මේ වන විට සාර්ථකව සූදානම් කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















