රුපියල් හතළිස් පන් ලක්ෂ හැට දහසක් (4,560,000) වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයින් දෙදෙනෙකු අද (05) දින අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 29 සහ 42 හැවිරිදි වියේ පසුවන චීන ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනෙකි. මොවුන් අද අලුයම 01.20 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම සැකකරුවන් තමන් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 30,400 ක් (දුම්වැටි කාටූන් 152ක්) සඟවාගෙන, ගුවන් තොටුපොළේ “හරිත මාවත” (Green Channel) ඔස්සේ කිසිදු ප්‍රකාශ කිරීමකින් තොරව පිටව යාමට උත්සාහ කර ඇත. කෙසේ වෙතත්, රේගු නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකදී මෙම නීතිවිරෝධී දුම්වැටි තොගය සොයා ගැනීමට හැකි විය.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
















