ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නංවමින් සහ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා ජාතික ආරක්ෂක රාමුව ශක්තිමත් කරමින්, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් පරිත්‍යාග කරන ලද ‘සමුද්‍ර විජය’ ගැඹුරු මුහුදු මුර යාත්‍රාව නිල වශයෙන් කොමිෂන් කිරීම ඊයේ (04) පස්වරුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේදී සිදු කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද මෙම යාත්‍රාව, 2025 දෙසැම්බර් 02 වැනි දින නිල වශයෙන් ශ්‍රී ලංකාව වෙත භාර දෙන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතාවලට ගැළපෙන පරිදි අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව, 2026 පෙබරවාරි 20 වැනි දින ඇමරිකාවේ බැල්ටිමෝර් හි පිහිටි වෙරළාරක්ෂක බලකා අංගනයෙන් පිටත්වූ මෙම යාත්‍රාව පසුව කොළඹ වරාය වෙත පැමිණියේය.
සාගර නිරීක්ෂණය, සෙවීම් සහ ගලවාගැනීම් මෙහෙයුම්, ධීවර සම්පත් ආරක්ෂා කිරීම, පාරිසරික අධීක්ෂණය සහ ජාත්‍යන්තර සමුද්‍රීය නීති සහ සම්මුති බලාත්මක කිරීම ඇතුළු සමුද්‍රීය මෙහෙයුම් රැසක් සඳහා මෙම යාත්‍රාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් දේශසීමා හරහා සිදුවන සමුද්‍රීය අපරාධවලට එරෙහිව සටන් කිරීමේදී මෙම යාත්‍රාව ප්‍රධාන වත්කමක් ලෙස සේවය කරනු ඇත.
උත්සවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යාත්‍රාවේ අණදෙන නිලධාරී කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා වෙත නිල කොමිෂන් පත්‍රය ප්‍රදානය කරන ලදී. ජනාධිපතිවරයා විසින් යාත්‍රාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීමෙන් අනතුරුව යාත්‍රාව නිරීක්ෂණය කිරීමට ද එක් විය. යාත්‍රාවේ මෙහෙයුම් සූදානම, හැකියාවන් සහ මෙහෙයුම් පැතිකඩ පිළිබඳව ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලද අතර, ජනාධිපතිවරයා පසුව යාත්‍රාවේ අමුත්තන්ගේ පොතේ විශේෂ අදහස් සටහන් කර සමරු තිළිණයක් ද ලබා ගත්තේය.
















