සෑම වසරකම ජුනි 05 වැනි දිනට යෙදෙන ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ. 1972 වසරේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති මානව පරිසරය සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණයකට අනුව මෙම දිනය ජාත්‍යන්තර පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
මෙම වසරේ ජගත් පරිසර දින ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 9.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
පරිසර අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මෙවර පරිසර දිනය “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව සමරනු ලබයි. ඒ යටතේ “දලුලන්න ඉඩදෙන්න” යන තේමාව ඔස්සේ විවිධ ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. පරිසරය සුරැකීම සහ අනාගත පරපුර උදෙසා හරිතවත් දේශයක් ගොඩනැගීම වෙනුවෙන් මෙම වැඩසටහන් තුළින් විශාල දායකත්වයක් අපේක්ෂා කෙරේ.
















