ශ්‍රී ලංකාවේ මධ්‍ය කාලීන සහ දිගුකාලීන රාජ්‍ය ආදායම් උපාය මාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ඒ සඳහා අවශ්‍ය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් මහජනතාවට සහ විවිධ ආයතනවලට ආරාධනා කර තිබේ.
මෙම ආරාධනය සිදුකර ඇත්තේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ පිහිටුවන ලද ආදායම් කළමනාකරණ කමිටුව හරහාය. ඒ අනුව චින්තන පර්ෂද (Think Tanks), විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන, වෘත්තීය සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන, ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන සහ ඕනෑම උනන්දුවක් දක්වන තනි පුරවැසියෙකුට තම යෝජනා ඉදිරිපත් කළ හැකිය.
රටේ ආර්ථික ස්ථායීතාව සහ තිරසාර සංවර්ධනය උදෙසා වඩාත් විධිමත් රාජ්‍ය ආදායම් ක්‍රමවේදයක් ගොඩනැගීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි. අදාළ යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේද සහ වැඩිදුර විස්තර මුදල් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා හෝ මාධ්‍ය නිවේදන මගින් ලබා ගත හැකිය.
මෙය රටේ මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පුරවැසියන්ට සහ වෘත්තිකයන්ට සෘජුවම දායක වීමට ලැබෙන වැදගත් අවස්ථාවකි.
















