සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ Ice Age සිනමාපට මාලාවේ හයවන දිගහැරුම වන ‘Ice Age: Boiling Point’ හි නිල පූර්ව ප්‍රචාරක පටය (Teaser Trailer) ඩිස්නි (Disney) සහ 20th Century ස්ටුඩියෝස් විසින් ඊයේ නිල වශයෙන් නිකුත් කර තිබේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වන අපූරු සත්ව රැලකගේ නවතම වික්‍රමාන්විත ගමනක් රැගෙන එන මෙම සජීවීකරණ චිත්‍රපටයේ මිනිත්තුවක් පමණ දිවෙන මෙම පූර්ව ප්‍රචාරක පටයෙන් පෙන්වන්නේ මැඩී, ඩියේගෝ, සිඩ් මෙන්ම සුපුරුදු පරිදි සිය ආදරණීය ඕක් ගෙඩිය සොයා යන ස්ක්‍රැට් ඇතුළු පිරිස සක්‍රීය ගිනිකන්දකින් ඉහළට විසිවන ආකාරයයි. ඩිස්නි සමාගම පවසන පරිදි, මෙවර මෙම සත්ව කණ්ඩායම ඩයිනසෝරයන් සහ ලාවා වලින් පිරුණු, මින් පෙර කිසිදා නොදුටු අන්තරායකර ‘Lost World’ හි සැඟවුණු කලාපයන් වෙත ගමන් කරමින් මුහුණ දෙන අතිශය හාස්‍යජනක මෙන්ම වික්‍රමාන්විත අත්දැකීම් රැසක් මින් දැකගත හැකි වනු ඇත. රේ රොමානෝ (මැමත් සතා – මැඩී), ඩෙනිස් ලියරි (කඩුවක් වැනි දත් ඇති කොටියා – ඩියේගෝ), ජෝන් ලෙගුයිසාමෝ (කම්මැලි සතා – සිඩ්) ඇතුළු මුල් චිත්‍රපටවල චරිත සඳහා හඬ කැවූ සුපිරි නළු නිළියන් රැසක්ම මෙවරද තම දායකත්වය සපයන අතර, ජෝන් ඩොන්කින් විසින් මෙය අධ්‍යක්ෂණය කරනු ලබයි. Blue Sky ස්ටුඩියෝස් වසා දැමීමෙන් පසු ඩිස්නි සමාගම යටතේ සිනමාහල් වෙත පැමිණෙන පළමු Ice Age සිනමාපටය මෙය වන අතර, 2016 වසරේ නිකුත් වූ ‘Ice Age: Collision Course’ චිත්‍රපටයෙන් පසුව වසර ගණනාවකට පසු තිරගත වන මෙම නවතම සිනමාපටය 2027 පෙබරවාරි 5 වනදා ලොව පුරා සිනමාහල් වෙත නිකුත් කිරීමට නියමිතව තිබේ.
















