රට දරුණු ආර්ථික හා ස්වභාවික කුණාටුවකට හසුව සමස්ත පොදු මහජනතාව අන්ත අසරණ වූ මොහොතේ විදේශගත ශ්‍රී ලාංකිකයන් මහත් දේශප්‍රේමී අපේක්ෂාවෙන් යුතුව ‘Rebuild Sri Lanka’ විශේෂ රාජ්‍ය අරමුදල වෙත ලබාදුන් කෝටි සංඛ්‍යාත විදේශ විනිමය හා මූල්‍ය ප්‍රතිපාදන රටේ ප්‍රයෝජනයට නොගෙන ගොඩගසා තැබීම දැවැන්ත ජාතික අපරාධයක් බව දේශපාලන විචාරක සම්පත් අතුකෝරළ මහතා පෙන්වා දෙයි. වත්මන් මාලිමා රජය බලයට පත්ව සාර්ථකව මාස හතක කාලයක් ගතවී ඇතත්, අගතියට පත් අහිංසක ජනතාව වෙනුවෙන් එම අරමුදලෙන් එකදු රුපියලක් හෝ වියදම් කර සහන සැලසීමට අපොහොසත් වීම තුළ වත්මන් පාලකයන්ගේ පවතින නින්දිත අකර්මණ්‍යභාවය සහ පරිපාලනමය ළදරු ස්වභාවය මනාව පිළිබිඹු වන බව ඔහු අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ විපතට පත් ජනතාව මෙන්ම මුදල් පරිත්‍යාග කළ විදේශගත ශ්‍රී ලාංකිකයන් ද රජයේ මෙම අදූරදර්ශී හැසිරීම පිළිබඳව දැඩි අවධානයෙන් හා අවධියෙන් පසුවන බවයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුණු නායයෑම් සහ ආපදාවලට ලක්වූ අසරණ වතු ජනතාව අදටත් ස්ථිර නිවාස නොමැතිව තාවකාලික කූඩාරම් තුළ දැඩි සීතලෙන් හා වර්ෂාවෙන් පීඩා විඳිමින් මනුෂ්‍ය නොවන මට්ටමින් දිවි ගෙවන පීඩිත පසුබිමක සහ මහනුවර ප්‍රධාන දුම්රිය මාර්ගයේ පවතින බිඳ වැටීම් පවා නිසි පරිදි පිළිසකර කර ගැනීමට නොහැකිව වත්මන් පාලනාධිකාරිය සහමුලින්ම අසරණ වී සිටීම තුළ ආණ්ඩුවේ ප්‍රායෝගික කළමනාකරණ අසමත්භාවය මැනවින් පැහැදිලි වේ. කෝටි ප්‍රකෝටි ගණනක විදේශ ආධාර අරමුදලක් බැංකු පද්ධතිය තුළ නිකරුණේ පවතිද්දීත්, බිම් මට්ටමේ පවතින ජනතා දුක හඳුනාගෙන ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් මුදා හැරීමට කටයුතු නොකිරීම හුදෙක් සාමාන්‍ය පරිපාලනමය ගැටලුවක් නොවන බව සම්පත් අතුකෝරළ මහතා පෙන්වා දෙයි. එය වත්මන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස බලයට පත්වීම සඳහා මැතිවරණ වේදිකාවලදී පීඩිත ජනතාවට දුන් පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කිරීමක් සහ ජනතාව පිටකොන්දෙන් පාවාදීමක් ලෙස හෙතෙම මෙහිදී තියුණු විවේචනයකට ලක් කරයි.
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටක් සොයන්නාක් මෙන්, මාලිමාව ප්‍රමුඛ වත්මන් රජය තමන් සන්තකයේ පවතින දේශීය සම්පත් සහ මූල්‍ය ප්‍රතිපාදන පවා නිසි පරිදි ප්‍රයෝජනයට ගත නොහැකි ළදරු මට්ටමක පසුවෙමින්, රට සහ ආර්ථිකය ශීඝ්‍රයෙන් හදන බවට මාධ්‍ය සංදර්ශන හරහා කරන ප්‍රකාශ අතිශය හාස්‍යයට කරුණක් බව පවසන ඒ මහතා, බුද්ධිමත් ජනතාව වත්මන් පාලකයන්ගේ මෙවැනි ව්‍යාජ මවාපෑම් සහ මුලාවන්ට තවදුරටත් හසු නොවන බව ද සිහිපත් කරයි. අවසන් වශයෙන් ඔහු දැඩිව පෙන්වා දෙන්නේ, රටේ පවතින ප්‍රමුඛ සහ සංවේදී ජාතික ප්‍රශ්න හමුවේ මෙවැනි අසරණ, මන්දගාමී සහ දෘෂ්ටියක් නොමැති පිළිවෙතක් අනුගමනය කරන අද්දැකීම් විරහිත පාලනයක් යටතේ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ස්ථාවරත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම ජන ජීවිතය ද සහමුලින්ම දරුණු අනතුරේ වැටී ඇති බවයි.
















