2026 ජගත් පරිසර දින ජාතික සැමරුම් නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු අතර, එහිදී මෙරට පාරිසරික ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය උදෙසා ගනු ලබන තීරණාත්මක පියවර රැසක් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් අනාවරණය කරන ලදී.
මෙහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට සංස්කෘතික හා පාරිසරික වශයෙන් වැදගත් වන හීලෑ අලි ඇතුන් වඩාත් විධිමත් ලෙස කළමනාකරණය කිරීම සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් (National Policy) සකස් කිරීමේ කටයුතු මේ වන විටත් රජය විසින් ආරම්භ කර ඇති බවයි. මීට අමතරව, ලංකාවේ අඩුවක්ව පවතින අලි අභිජනන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් (Elephant Breeding and Research Centre) ලෙස පින්නවල අලි අනාථාගාරය කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.
රජය විසින් ක්‍රියාත්මක කරන ‘වනස්පති’ වැඩපිළිවෙළ යටතේ වසරක් වැනි කෙටි කාලයක් තුළ අලුතින් රක්ෂිත වනාන්තර 86ක් ප්‍රකාශයට පත් කිරීමට සමත් වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල අලිමංකඩ 03ක් නිදහස් කළ බවද සඳහන් කළේය. තවද, වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල පවතින මානව හා භෞතික සම්පත් හිඟයට විසඳුම් ලෙස පුරප්පාඩු පිරවීමට සහ නව වාහන සැපයීමට පියවර ගෙන ඇති අතර, පරිසරය සුරැකීම වෙනුවෙන් දැනට පවතින යල් පැන ගිය අණපනත් කඩිනමින් සංශෝධනය කිරීමටද වත්මන් රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















