දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ (SLTS) නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග (Efficiency Bar Examinations) පැවැත්වීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (05) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී සාර්ථකව පවත්වා තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි.
එහිදී ඇති කරගත් එකඟතාවලට අනුව, ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග ඉදිරි මාස කිහිපය ඇතුළත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර ඇත. ඒ අනුව විභාග පැවැත්වෙන කාලසටහන මෙසේය:
I වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය: 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී
II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය: 2026 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී
III වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය: 2026 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී
මෙම විභාග ව්‍යූහය පැවැත්වීම හරහා දිවයින පුරා සිටින ගුරු සේවා නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගතිය සහ වැටුප් වර්ධක ඇතුළු ඉදිරි උසස්වීම් කටයුතු වඩාත් විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















