පසුගිය වසර 76ක කාලය පුරා මෙරට සිදුවූ සමස්ත වංචා සහ දූෂණවලට වඩා වැඩි දූෂණයක් වත්මන් මාලිමා රජය සිය පාලන කාලයේ පළමු මාස හය ඇතුළත සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා චෝදනා කරයි. රූපවාහිනී නාලිකාවක දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී ඉන්ධන මිලදී ගැනීම් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ හිටපු මන්ත්‍රීවරයා, ලෝක වෙළඳපොළේ පවතින මිල ගණන්වලට වඩා අධික මිලකට ශ්‍රී ලංකාව ඩීසල් මිලදී ගන්නා බවත්, ලෝකයේ වැඩිම මිලට ඩීසල් ගනු ලබන්නේ ශ්‍රී ලංකාව බව HSBC ප්‍රධානියා පවා ප්‍රකාශ කර ඇති බවත් අනාවරණය කළේය. අසල්වැසි ඉන්දියාවේ දිල්ලි වැනි නගරවල පවා ඉන්ධන මිල ලංකාවට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතිද්දී, ජනතාවගේ බදු මුදල්වලින් මෙලෙස වැඩි මිලට ඉන්ධන ලබාගන්නේ පසුපස ඇති මහා පරිමාණ වංචාවක් නිසාදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය. මීට අමතරව රජය යටතේ සිදුවූ බව කියන මීට වසරකට පෙර අතුරුදහන් වූ කන්ටේනර් 03ක් පිළිබඳ තොරතුරු අනාවරණය නොවීම, තැපැල් කාර්යාල හරහා හුවමාරු වූ ඩොලර් ලක්ෂයක වංචාව සහ බැංකු පද්ධතියේ ගැටලු රැසක් ඔහු මෙලෙස කරුණු සහිතව පෙන්වා දුන්නේය. රජය විසින් සිදු කරනු ලබන ඇතැම් සංදර්ශන හේතුවෙන් රාජ්‍ය සේවකයින් දැඩි බියකින් පසුවන බවත්, එමඟින් රාජ්‍ය කාර්යාලවල දෛනික වැඩකටයුතු අඩාල වී ඇති බවත් පැවසූ ඒ මහතා, “අඩුම තරමේ හොරු අල්ලයි කියලා ජනතාව මාලිමාව ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගත්තා. හැබැයි අන්තිමට බැලුවාම අවුරුදු 76කට වඩා ලොකු හොරකමක් මේ මාස 6ට කරලා රටේ ආර්ථිකයත් විනාශ කරලා” යැයි වැඩිදුරටත් අවධාරණය කළේය.
















