වත්මන් රජය ඉතිහාසයේ කිසිදු දිනෙක සිදු නොවූ අයුරින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) දේශපාලනික වශයෙන් අවභාවිත කරමින් සිටින බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා අද (05) පස්වරුවේ කොළඹ පිහිටි සර්වජන බලය පක්ෂ කාර්යාලයේදී දිලිත් ජයවීර මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් හමුවී සාකච්ඡාවක නිරත විය. එම රාජ්‍ය තාන්ත්‍රික හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා, මෙරට ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා තීරණාත්මක මෙහෙවරක් ඉටුකළ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජනරල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් රජය ක්‍රියා කරන ආකාරය දැඩි ලෙස විවේචනය කළේය. ඕනෑම පුරවැසියෙකුට හිමි ‘වැරදිකරු වන තෙක් නිවැරදිකරු’ යන පූර්ව නිගමනයේ අයිතිය ඔහුටද හිමිවිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
“මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ PTA එක පාවිච්චි කරන්නේ නැහැ කියලා. හැබැයි ඉතිහාසයේවත් නොවූ විදිහට අද රඳවා ගැනීමේ නියෝග (Detention Orders) මත තබා ගනිමින් මේ නීතිය බරපතළ ලෙස අවභාවිත කරනවා. මේ තත්ත්වයට එරෙහිව පක්ෂයක් විදිහට ඉදිරියේදී ජාතික මට්ටමේ දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කිරීමට කටයුතු කරනවා” යැයිද දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















