ඕමාන් බොක්ක මුහුදු තීරයේ මෙහෙයුම්වල නිරතව සිටි ඇමෙරිකානු යුද නැව් කිහිපයක්, ඉරාන නාවික හමුදාව එල්ල කළ අනතුරු ඇඟවීමේ කෲස් මිසයිල සහ නවීන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ එම කලාපයෙන් පසුබැස ඇති බව ඉරාන හමුදාව නිවේදනය කරයි. ඉරාන හමුදාව විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක දැක්වෙන්නේ, ඇමෙරිකානු නාවික බලකාය විසින් සිදු කරනු ලබන සමුද්‍රීය කඩාකප්පල්කාරී ක්‍රියා සහ තෙල් නැව් පැහැරගැනීම් මැඩපැවැත්වීම සඳහා දියත් කරන අඛණ්ඩ මෙහෙයුම්වල කොටසක් ලෙස මෙම පියවර ගත් බවයි. එම ප්‍රකාශයට අනුව, ඉරාන නාවික හමුදාවට අයත් ‘කාදීර්’ මිසයිල සහ ‘ෂහීඩ් දානා’ නමැති නවීන ප්‍රහාරක ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කළ අනතුරු ඇඟවීමේ ප්‍රහාරවලින් පසු, ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘DDG-103’ සහ ‘DDG-8’ යන විනාශකාරී යුද නැව් මෙන්ම ‘USS George H.W. Bush’ ගුවන් යානා ප්‍රවාහන නෞකා බලඝණයට අයත් නැව් සහ ‘USS Tripoli’ නෞකාව ද ඕමාන් බොක්කෙන් ඉන්දියන් සාගරය දෙසට පසුබැස ඇත. පසුගිය පෙබරවාරි මාසයේ සිට දෙපාර්ශවය අතර හටගත් මිලිටරි නොසන්සුන්තාව හමුවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 8 වනදා ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, එම එකඟතා උල්ලංඝනය කරමින් ඇමෙරිකාව පැනවූ නාවික අවහිරතාවලට ප්‍රතිචාර ලෙස ඉරානය මේ වන විට හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ පාලනය වෙනදාට වඩා දැඩි කරමින් තම ස්වෛරී මුහුදු සීමාව සුරැකීමට කටයුතු කරන බව ඉරානය වැඩිදුරටත් අවධාරණය කරයි.
















