පාසල යනු දරුවන්ට දැනුම පමණක් ලබාදෙන ස්ථානයක් නොව, එය දරුවාට ලැබෙන සුරක්ෂිතම, ආරක්ෂිතම සහ ආදරය පිරුණු ස්ථානය විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. ඇය මේ බව කියා සිටියේ කුරුණෑගල සාමෝදය විද්‍යාලයේ අලුතින් ඉදිකළ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ ශ්‍රවණාගාරය සිසු අයිතියට පැවරීමේ උත්සවයට අද (05) ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන්නේ දරුවන්ට හොඳම දේ ලබාදීම බවත්, හුදෙක් ගොඩනැගිලි ලබාදීමෙන් පමණක් අධ්‍යාපනය සම්පූර්ණ නොවන බැවින් එහි අන්තර්ගතය ද ගුණාත්මක විය යුතු බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය. දරුවෙකු නිවසින් බැහැරව වැඩිම කාලයක් ගත කරන්නේ පාසලේ බැවින්, එම පරිසරය සෙනෙහසින් පිරි පැවතීම අනිවාර්ය බව ද ඇය පෙන්වා දුන්නාය. රුපියල් මිලියන 41ක වියදමින් මාස 7ක් වැනි කෙටි කලක් තුළ මෙම ඉදිකිරීම් නිම කිරීම පිළිබඳව ඇය සිය ප්‍රසාදය පළ කළ අතර, සමාරම්භය සනිටුහන් කරමින් විද්‍යාල භූමියේ නා පැළයක් ද රෝපණය කළාය.
විද්‍යාලයේ පැරණි ගොඩනැගිල්ල අබලන් වීම නිසා දරුවන්ට කලක් විහාරස්ථානයේ පන්ති පැවැත්වීමට සිදු වූ බවත්, මෙම නව ගොඩනැගිල්ල සිසුන්ට ලැබුණු විශාල ජයග්‍රහණයක් බවත් විදුහල්පතිතුමා මෙහිදී කෘතඥපූර්වකව සිහිපත් කළේය. මෙම අවස්ථාවට කිතුල්ගොල්ලේ ඥානරතන හිමි, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. කේ. එස්. අස්ලම්, අශෝක ගුණසේන, නීතිඥ සරත් කරුණායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.
















