ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ, ඊට සමගාමීව දේශීය වෙළෙඳපොළ පොලී අනුපාතික ද ඉහළ යාම ආරම්භ වී තිබේ.
මේ යටතේ ක්‍රෙඩිට් කාඩ්පත් (Credit Cards) වෙනුවෙන් අය කරනු ලබන උපරිම වාර්ෂික පොලී අනුපාතිකය ඉහළ නැංවීමට ඇතැම් වාණිජ බැංකු පියවර ගෙන ඇත. ඒ අනුව, මේ දක්වා ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පැවති 26%ක් වූ වාර්ෂික පොලී අනුපාතිකය එළඹෙන ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 28%ක් දක්වා ඉහළ නංවන බව එම බැංකු විසින් මේ වන විටත් සිය ගනුදෙනුකරුවන් වෙත කෙටි පණිවිඩ (SMS) සහ ලිපි මඟින් දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, 2025 වසර අවසානය වන විට මෙරට පැවති මුළු සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 2,166,186ක් වූ අතර, එය 2026 වසරේ පළමු කාර්තුව (මාර්තු 31) අවසන් වන විට 2,215,853ක් දක්වා ඉහළ ගොස් ඇත.
කාඩ්පත් භාවිතය ඉහළ යාමත් සමඟ ඒවායේ නොපියවූ සමස්ත ශේෂයන් (Outstanding Balance) ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. 2025 දෙසැම්බර් 31 දිනට රුපියල් මිලියන 189,706ක් ලෙස සටහන් වූ නොපියවූ ක්‍රෙඩිට් කාඩ් ශේෂය, 2026 මාර්තු 31 වන විට රුපියල් මිලියන 194,105ක් දක්වා වර්ධනය වී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. පවතින ආර්ථික වටපිටාව හමුවේ පොලී අනුපාත මෙලෙස ඉහළ යාම ක්‍රෙඩිට් කාඩ් පරිශීලකයන්ගේ මාසික පියවීම් බර තවදුරටත් වැඩි කිරීමට හේතුවනු ඇත.
















