ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දුම්කොළ පාලනය පිළිබඳ රාමුගත සම්මුතියේ (FCTC) 5.3 වගන්තියට අනුව, දුම්කොළ කර්මාන්තයේ වාණිජමය සහ වෙනත් උත්සාහයන්ගෙන් මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව නීතිමත්ව බැඳී සිටියි. කෙසේ වුවද, 2025 වසර සඳහා වන ගෝලීය දුම්කොළ කර්මාන්ත මැදිහත්වීම් දර්ශකය (Tobacco Industry Interference Index – TII) අනුව ශ්‍රී ලංකාව රටවල් 43ක් අතරින් 43 වන ස්ථානය දක්වා බිඳ වැටෙමින් සමස්ත දර්ශකයේ අවසන් ස්ථානයට පත්ව ඇති බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) නිවේදනය කරයි.
2023 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව ලබාගෙන ඇති මෙම අසාර්ථකත්වය තුළින් පැහැදිලි වන්නේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී දුම්කොළ කර්මාන්තයේ බලපෑම් සහ අතපෙවීම් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ දුම්කොළ සමාගම් අතර පවතින සබඳතා, ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘති හරහා ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීම සහ බදු ප්‍රතිපත්ති තමන්ට වාසිදායක ලෙස වෙනස් කරගැනීමට සමාගම් දරන කූඨ උත්සාහයන් මීට ප්‍රධාන හේතු වී තිබේ.
මෙම තත්ත්වය පරාජය කරමින් දේශීය මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති කර්මාන්තයේ බලපෑම්වලින් මුදවා ගැනීම සඳහා, 2019 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක නොවී පවතින පහත සඳහන් ජාතික ප්‍රතිපත්ති 7 කඩිනමින් බලාත්මක කළ යුතු බව ADIC ආයතනය අවධාරණය කරයි:
1. රජය සහ දුම්කොළ කර්මාන්තය අතර සබඳතා සීමා කිරීම: රාජ්‍ය නිලධාරීන් සහ දුම්කොළ සමාගම් අතර පවතින අනවශ්‍ය ගනුදෙනු නීතිමය වශයෙන් සීමා කිරීම.
2. තනි සිගරට් (Single Stick) අලෙවිය තහනම් කිරීම: ළමුන් සහ තරුණයන් පහසුවෙන් ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා තනි තනිව සිගරට් විකිණීම මුළුමනින්ම තහනම් කිරීම.
3. අධ්‍යාපන ආයතන අවට මීටර 100 සීමාවේ තහනම: පාසල් හෝ අනෙකුත් අධ්‍යාපන ආයතනවල සිට මීටර 100ක් ඇතුළත දුම්වැටි අලෙවිය සපුරා තහනම් කිරීම.
4. NATA පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ බලතල: දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (NATA Act) යටතේ පත් කර ඇති නිලධාරීන්ට වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමේ නීතිමය බලතල ලබා දීම.
5. NATA පනතේ බදු ප්‍රතිතිශත ඉහළ දැමීම: දුම්වැටි මිලෙහි පවතින බදු ප්‍රතිශතය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටම් දක්වා විධිමත් ලෙස ඉහළ නැංවීම.
6. දුම්කොළ වගාවන් ක්‍රමයෙන් නැවැත්වීම: පරිසරයට සහ පසට හානිකර වන දුම්කොළ වගාවන් මෙරටින් සම්පූර්ණයෙන්ම ඉවත් කර, ගොවීන් විකල්ප භෝග වෙත යොමු කිරීම.
7. සම්මත අවවාදාත්මක ඇසුරුම්කරණය (Plain Packaging): දුම්වැටි පැකට්ටුවල ඇති ආකර්ෂණීය වර්ණ සහ වෙළඳ සන්නාම ඉවත් කර ලොව පිළිගත් සම්මත ඇසුරුම්කරණය අනිවාර්ය කිරීම.
දුම්කොළ සමාගම් විසින් පාරිභෝගිකයන්, විශේෂයෙන්ම කුඩා දරුවන් ආකර්ෂණය කරගැනීම සඳහා සෙල්ලම් බඩු, ක්‍රීඩා භාණ්ඩ, සඟරා මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ වෙළඳ උපක්‍රම (Marketing Strategies) වෛරසයක් මෙන් සමාජගත කරමින් සිටියි. මෙම කූඨ උපක්‍රමවලින් අනාගත පරපුර ආරක්ෂා කරගැනීම සඳහා, වගකිවයුතු සියලුම පාර්ශවයන් එක්ව ඉහත ප්‍රතිපත්තිමය තීරණ කඩිනමින් නීතිගත කිරීමට මැදිහත් විය යුතු බව ADIC ආයතනය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
















