ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය පසුගිය දින කිහිපයේදී යළි ඉහළ යාමක් පෙන්නුම් කළද, එය කිසිසේත්ම මෙරට ආර්ථික අර්බුදයක ලකුණක් නොවන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඊයේ (ජූනි 05) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාම සහ ඒ සමඟම ඩොලරයට ඇති ඉල්ලුම ගෝලීය වශයෙන් ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි.
“මෙය දේශීය ආර්ථිකයේ බිඳ වැටීමක් නිසා සිදුවූවක් නොවෙයි. යුධමය තත්ත්වය නිසා ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම ලෝකයේ බොහෝ රටවල මුදල් ඒකකවලට බලපා තිබෙනවා. අපේ රටටත් එහි බලපෑම යම්තාක් දුරට ලැබී තිබෙනවා පමණයි,” යනුවෙන් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
රජය සහ මහ බැංකුව දේශීය විනිමය වෙළෙඳපොළ තුළ ස්ථාවරත්වය පවත්වා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරමින් පවතින බවත්, ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















