ශ්‍රී ලංකාව තුළ දුම්වැටි භාවිතය සඳහා ජනතාව දිනකට රුපියල් මිලියන 400ක් (රුපියල් කෝටි 40ක්) සහ වසරකට රුපියල් බිලියන 145ක් (රුපියල් කෝටි 14,500ක්) වැනි දැවැන්ත මුදලක් නාස්ති කරන බව මෑතකදී ප්‍රකාශයට පත් කළ වාර්තා මඟින් තහවුරු වී තිබේ. මෙම තත්ත්වය හමුවේ, දුම්පානය කරන්නන් විසින් තමන් ගෙවන බදු මුදලින් රට පාලනය වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩනඟන තර්කය සම්පූර්ණ අසත්‍ය සහ වලංගු නොවන මිත්‍යාවක් බව ආර්ථික හා සෞඛ්‍ය විශේෂඥයෝ සාධක සහිතව පෙන්වා දෙති. මෙරට දුම්වැටි වෙළඳපොළේ ප්‍රධාන සන්නාම වන ඩන්හිල්, ගෝල්ඩ් ලීෆ් සහ බ්‍රිස්ටල් වැනි සියලුම වර්ගවල පූර්ණ ඒකාධිකාරය පවතින්නේ ලංකා දුම්කොළ සමාගම (CTC) සතුව වන අතර, එහි කොටස්වලින් 84%ක්ම අයිති බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (British American Tobacco – BAT) නැමැති විදේශීය දැවැන්ත ව්‍යාපාරයටයි. ඒ අනුව මෙරට දුම් බොන්නන් වැය කරන මුදලින් බහුතරයක් වාර්ෂිකව විදේශයන්ට ඇදී යන බැවින් එය දේශීය ආර්ථිකයට දැඩි අවාසියක් වී ඇත.
ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) සිදු කළ පර්යේෂණවලට අනුව, පසුගිය කාලය පුරාම දුම්වැටි මිල ඉහළ ගිය ද ඊට අනුපාතිකව බදු මුදල් ඉහළ දමා නොමැති අතර, දුම්කොළ සමාගම් විසින් විවිධ උපාය මාර්ග ඔස්සේ ප්‍රතිපත්ති සම්පාදනයට ඇඟිලි ගසමින් බදු ප්‍රතිපත්ති තමන්ට වාසිදායක ලෙස වෙනස් කරගෙන ඇති බව හෙළිවේ. තවද, දුම්වැටි කර්මාන්තය යනු තමන්ගේ පාරිභෝගිකයන්ගෙන් 50%කගේම මරණවලට සෘජුවම වගකියන ලොව පවතින එකම වෙළඳ භාණ්ඩය වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ලෝක සන්නිවේදන විද්‍යා විශේෂඥයන් පෙන්වා දෙන්නේ දුම්කොළ සමාගම් විසින් වසර ගණනාවක් තිස්සේ චිත්‍රපට සහ ආකර්ෂණීය ඇසුරුම් වැනි “අඳුරු වෙළඳ උපක්‍රම” (Dark Marketing) ඔස්සේ තරුණ පරපුර මෙම මාරාන්තික ඇබ්බැහියට හසු කරගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ වසරකට පුද්ගලයන් 20,000ක් පමණ දුම්පානය සහ ඒ ආශ්‍රිත රෝගාබාධ නිසා අකාලයේ මියයන අතර, ද්විතීක දුම්පානය (Passive Smoking) නිසා ද දහස් ගණනක් පීඩා විඳිති. මෙරට පවතින නිදහස් සෞඛ්‍ය සේවය යටතේ මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට සහ මහජනතාවට වාර්ෂිකව වැය කිරීමට සිදුවන සෞඛ්‍ය පිරිවැය, දුම්වැටිවලින් ලැබෙන බදු ආදායමට වඩා ඉතා විශාල වේ. නිල වාර්තාවලට අනුව, දුම්පානය නිසා සිදුවන සෞඛ්‍ය හානිය, රෝහල්ගතවීම් සහ ආදායම් අහිමිවීම් වළක්වා ගත්තේ නම් එම මුදලින් වසරකට දක්ෂිණ අධිවේගී මාර්ග දෙකක් වුවද ඉදිකිරීමට හැකියාව තිබිණි. එබැවින් දුම්වැටි සමාගම්වල කූඨ ග්‍රහණයට හසුවී සමාජගත කෙරෙන වැරදි මත පිළිබඳව මහජනතාව වඩාත් සවිඥානික විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
















