ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් මහනුවර, කෙන්ගල්ල ප්‍රදේශයේ පිහිටි කාර්මික උද්‍යානයේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් වෙන් කර ඇති නිල නිවස, කිසිදු නිල අවසරයකින් තොරව බාහිර පුද්ගලයන් සහ ඇතැම් නිලධාරීන් විසින් පුද්ගලික විනෝදාස්වාදයන් මෙන්ම මත්පැන් සාද පැවැත්වීම සඳහා දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් අවභාවිත කරන බවට තොරතුරු සහ වීඩියෝ සාක්ෂි රැසක් අනාවරණය වී තිබේ. පෙර රජයේ විවිධ වගකිවයුතු ආයතන වෙත මේ පිළිබඳව ලිඛිතව පැමිණිලි කර තිබුණද, මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති පසුබිමක, සිද්ධියට අදාළ සියලුම වීඩියෝ දර්ශන සහ ලේඛනගත සාක්ෂි මේ වන විට මාධ්‍ය වෙත මුදාහැර ඇත. එම වීඩියෝ දර්ශන මඟින් නිල නිවසේ අභ්‍යන්තර සැකසුම, එහි සිදුවන මත්පැන් භාවිතය සහ ඊට සහභාගී වූ නිලධාරීන් ඇතුළු පිටස්තර පිරිස ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය.
අධි ආරක්ෂිත ආයෝජන ප්‍රවර්ධන කලාපයක් තුළට කිසිදු ආකාරයකින් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් රැගෙන යා නොහැකි වුවද, ආරක්ෂක නීති මුළුමනින්ම උල්ලංඝනය කරමින් මෙලෙස මත්පැන් ඇතුළු කර තිබේ. විශේෂම කරුණ නම්, මෙම නිල නිවස කලාපීය අධ්‍යක්ෂවරුන් සඳහාම පමණක් වෙන් කර තිබුණද, 2023 වර්ෂයේ සිට එහි ස්ථිර අධ්‍යක්ෂවරයෙකු නොමැති පසුබිමක විවිධ පුද්ගලයන් විසින් මෙය නිරන්තරයෙන් අවභාවිත කර තිබීමයි. කලාපීය කාර්යාලයේ ඇතැම් පිරිස්වල දැනුවත්භාවය මත විවිධ බාහිර පුද්ගලයන් මෙහි නවාතැන් ගන්නා අතර, මේ පිළිබඳව ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් එය හිතාමතාම නොසලකා හැර තිබේ. එමෙන්ම මෙම නිල නිවසේ මාසික ජල, විදුලි සහ ගෑස් බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවනු ලබන්නේ රජයේ මුදලින් බැවින්, පසුගිය වසර ගණනාව පුරා පුද්ගලික සාද සහ ලැගුම් ගැනීම් සඳහා වැය වූ අධික බිල්පත් මහජන මුදලින් පියවා ඇති බව පසුගිය බිල්පත් පරීක්ෂා කිරීමෙන් සනාථ කරගත හැක.
රාජකාරී මුවාවෙන් පැමිණෙන ඇතැම් නිලධාරීන්, සේවා කාලය තුළදී පවා මෙම නිල නිවස සිය අකටයුතුකම් සහ විනෝදාස්වාදයන් සඳහා යොදාගෙන ඇති අතර, රාජ්‍ය විගණන අංශ විසින් අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණියද, එහි සිටින දූෂිත නිලධාරීන් විවිධ උපක්‍රම සහ ව්‍යාජ තොරතුරු භාවිත කරමින් මෙම වංචාව වසන් කර ඇත. අදාළ දිනවල පවත්වන ලද සාද සඳහා ආයතනයට කිසිදු සබැඳියාවක් නොමැති පිටස්තර පුද්ගලයන් රැසක් සහභාගී වී ඇති බව දර්ශන මඟින් සනාථ වන අතර, නිවස භාවිතා කිරීමට නීත්‍යානුකූල බලයක් ඇති කිසිදු නිලධාරියෙකු නොමැතිව, තමන්ගේ පුද්ගලික ඕනෑ එපාකම් සපුරා ගැනීමට මෙම රජයේ දේපළ බලහත්කාරයෙන් භාවිත කර තිබේ. මීට අමතරව, ඇතැම් නිලධාරීන් මෙම නිල නිවසේ ලැගුම් ගැනීම සහ සාද සඳහා පැමිණීමට ද රජයෙන් ලබා දී ඇති නිල ප්‍රවාහන (වාහන සහ ඉන්ධන) පහසුකම් ද අවභාවිත කර ඇති බව හෙළි වේ.
වත්මන් රජය දූෂණයට සහ රාජ්‍ය දේපළ අවභාවිතයට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කරන පසුබිමක, මහනුවර කාර්මික උද්‍යානය තුළ සිදුවන මෙම මහා පරිමාණ දේපළ හා මුදල් අවභාවිතය පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ වගකිවයුතු අමාත්‍යාංශ වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා, වංචාවට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගත යුතු බව මහජනතාව අවධාරණය කර සිටිති.
















