බුලත්සිංහල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් කස්තුරිආරච්චි විසින්, එම පොලිස් ස්ථානයේම සේවය කරන 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බරපතළ ලෙස අපයෝජනයට ලක් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. පසුගිය මාර්තු 26 වන දින රාත්‍රී රාජකාරියේ නිරතව සිටි අදාළ කොස්තාපල්වරයාට, අලුයම 2.00ට පමණ සිය නිල නිවාසයට පැමිණෙන ලෙස ස්ථානාධිපතිවරයා නියෝග කර ඇති අතර, එහිදී බීමතින් සිටි ස්ථානාධිපතිවරයා විසින් මෙම අතවරය සිදු කර ඇති බවට කොස්තාපල්වරයා පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුණද සැකකාර ස්ථානාධිපතිවරයාට එරෙහිව මෙතෙක් කිසිදු විනය පියවරක් ගෙන නොමැති වීම බරපතළ විවේචනයට ලක්ව තිබේ. ඊට ප්‍රතිවිරුද්ධව, අපයෝජනයට ලක්වූ කොස්තාපල්වරයාව පයාගල පොලිස් ස්ථානය වෙත හදිසියේ ස්ථාන මාරු කර තිබීම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදුවේද යන්න පිළිබඳ සැකයක් මතු කර ඇත.
ප්‍රදේශවාසීන් සහ පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි, අදාළ ස්ථානාධිපතිවරයා නිතරම අයුතු ලෙස බලය භාවිත කරන පුද්ගලයෙකු වන අතර, බොහෝ අවස්ථාවල බීමතින් සහ දුම් පානය කරමින් පොලිස් ස්ථානය තුළ රාජකාරියේ නිරත වන බවට ද චෝදනා එල්ල වී තිබේ. ඉහළ පෙළේ දේශපාලන සහ පොලිස් ඉහළ නිලධාරීන් සමඟ පවතින සමීප සබඳතා නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේදී පක්ෂග්‍රාහීත්වයක් පවතින බවට පැතිර යන මතය තවදුරටත් තහවුරු කරමින්, සිද්ධියෙන් දැඩි මානසික පීඩනයට පත්ව සිටින පීඩාවට පත් කොස්තාපල්වරයා මේ වන තෙක් සේවයට වාර්තා කර නොමැත.
වගකිවයුතු අංශ විසින් මේ සම්බන්ධයෙන් කඩිනම් සහ අපක්ෂපාතී විමර්ශනයක් සිදු කර, නීතිය ස්ථානාධිපතිවරයාට එරෙහිවද සමානව ක්‍රියාත්මක කළ යුතු බවට බුද්ධිමත් සමාජය ඉල්ලා සිටියි.
















